Thursday, June 6, 2013

රතු හැට්ටකාරී



කොන්කී‍්‍රට් මහා වනයේ සරණ 
නපුරු වෘකයන් පැමිණ 
රැගෙන යනතුරු මසට 
පහන් කණු සඳ එළිය මගහැර 
අඳුර වැඩිපුර ගැවසෙන 
නිසොල්මන් පාළු මුල්ලක 
මග බලා හිඳී ඔබ... 

කුඩා කළ 
නන්නාඳුන්නන් සමඟ 
කිසිත් නම් නොදොඩන්නැයි 
ආදරෙන් කියූ බව ඔබේ මව 
අමතකව නැතිමුත් තවම 
නාඳුනන වෘකයන් සමඟ 
මුදු වදන් තෙපළයි ඔබ 

ඇඟ මස සිදුරු කරවන 
මේ සා විසල් තියුණු නිය 
රාගයෙන් ඇවිළෙන 
මේ සා විසල් දෑස් ඇයිදැයි 
නො අසාම... 
හිඳී ඔබ නිහඬවම 
අවනතව උන් බසට 
රැගෙන යනතුරු ගොදුරට 

මින් පෙර 
කොපමණ ගොදුරු ගිල්ලාදැයි නොදත් 
විසල් උදර ඇති උන්ට ද 
දිරාගිය කෙසඟ සිරුරැති 
විසේකාර මහළු වෘකයන්ට ද 
ඇඟේ හිරි ඇර ගන්ට දඟළන 
හැඩි දැඩි තරුණ උන්ට ද 
රිසි විටෙක පැමිණ 
මස රස කර බුදින්නට 
නො බියව දෙමින් මුළු සිරුරම 
හිඳී ඔබ නිහඬවම ... 

කොන්කී‍්‍රට් වනයේ 
පහන් කණු සඳ එළිය මග හැර 
අඳුර වැඩිපුර ගැවසෙන 
නිසොල්මන් පාළු මුල්ලක 
මග බලාගෙන හිඳී ඔබ 
රතු හැට්ටකාරී...

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි