Wednesday, September 4, 2013

නීති වි‍රෝධී සංක්‍රමණිකයාගේ හෘද සාක්ෂි සටහන




කනේ කරාබුව අඹුවගෙ වී සින්න
රනේ රුවට නෑ කිසිවක් දිළිසෙන්න
සෙනේ සිතින් දුක් කරදර ඉවසන්න
අනේ ඇයට දෙවියනි තව දිරි දෙන්න

සාප්පුවෙන් නැහැ කවදත් බඩු ගත්තේ
ජේත්තුවෙන් ඇඳ ගිය ගමනුත් නැත්තේ
සූප්පුවෙන් දෙන්නට කහටත් නැත්තේ
යාප්පුවෙන් දරුවන් නිදි කරගත්තේ

කනේ වැටුණු දා රට පැන යන විත්ති
අනේ ජිනේ කියමින් වැළපුණු ඇත්ති
තනේ මිරිකුවක් කිරි එන්නැති රත්ති
සෙනේ නැතිව නොව මුදලක් කරගත්ති

පාස්කුවේ රට යන බව කිව්වාම
මාට්ටුවේයැයි මට කිව් අය බෝම
බෝට්ටුවේ වත් රට නොගිහින් මේම
සාක්කුවේ හිල් මහගන්නේ කෝම

සැපේ සොයා ගියමුත් සිහිකර ධර්මේ
අපේ දින ගණන් වැරදුනි කළ කර්මේ
ලිපේ බතුත් නෑ බොන වතුරත් සුම්මේ
අපේ කඳුළුමයි මුහුදට ලූණු දැම්මේ

වේගෙන් දියුණුවේ නම් රට හැමදාම
ඒකෙන් බඩ වියත නොරැකෙන්නේ කෝම
ලෝකෙන් උතුම් රට මගෙ රට නම් තාම
සෝකෙන් රට පනින්නේ මොකටද මේම

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි