Sunday, October 13, 2013

"හිතේ කෙටූ ටැටූ"


"හිතේ කෙටූ ටැටූ"
**INSPIRATION**

ඉන්දිකව මම අඳුරගන්නේ කිරිපිටි වෙළඳ දැන්වීමක පූර්ව නිෂ්පාදන කටයුත්තක් අතරතුරදී. ඔහු තමයි ඒ වෙළඳ දැන්වීමේ පිටපත් රචකයා [Script writer] . නමුත් ඒ දැන්වීම් පිටපත නම් කිසිම විශේෂත්වයක් නැති බේසික් [Basic ] එකක්. ඒත් බීර බිබී හිටපු පර්සියානු ජාතික පෙනුමක් ඇති මේ තරුණයාව නම් එක් වරම මගේ සිත් ගත්තා.....

"
හිතේ කෙටූ ටැටූ" කියන්නේ ඉන්දික ගුණවර්ධන කියන මේ ඉලංදාරි කවියා ෆේස් බුක් එකේ මිතුරෝ එක්ක බෙදා ගත්ත හරි අපූරු කවි ගොන්නක්.එක හුස්මට කියවිය හැකි කවි එක සිය පනහකින් සමන්විත වුණත් ඉන්දිකගේ කවි වල සරලකම යටින් දැනෙන ඇඟ හිරි වැටෙන මොකක්දෝ දෙයක් තිබෙනවා.

මේ "හිතේ කෙටූ ටැටූ" වල තිබුන මගේ හිත හිරි වට්ටපු කවියක්.

මුතු පබුළු .....

එදවස,
නොසලන්න,
මේ මුතු පබලුයැයි,
ඔබම තෙපලු කඳුළු,
දැන්,
ගෙදර අහුමුලු පුරා හැම තැනම ,
ඔබ එන්න,
අමාරුයි තනිවම ,
ඇහිඳින්න,
මුතු පබුළු .......


කුමන ගුරුකුලයක කුමන තරා තිරමක කවි රස විඳින්නෙකුගේ හිතේ වුවත් පුංචිම පුංචි හරි රිදුමක් මේ කවිය කියවීමෙන් පසු රැදෙනු නොඅනුමානයි.

ඔහුගේ ස්ටයිල් [style] එක හරියටම දැනෙන්න ලියපු කවියක් තමයි මේ " හිතේ කෙටු ටැටූ " කවිය .

පොත ගන්න ,
ඔයා පහත්වුනු,
තත්පරේට ,
ඔයාගේ,
ටයිට් ඩෙනිම අස්සේ හිටි ,
නිල්පාට සමනළයා ,
ඉගිල්ලිලා ඇවිත්,
මගේ හිතේ වැහුව, .
දැන් ඌව ,
එලවගන්න බෑ මට ,
රෑට .

ඉන්දික ලියු "වන්දනාව" , "සිරුර භාෂාව වූ කල" ආදී ජිවිතයේ අපගේ ක්‍රියා කාරවම් වල පැතිකඩයන් කියා පාන කවි රාශියක් "හිතේ කෙටූ ටැටූ" තුළ අන්තර්ගතයි.

ඉන්දිකගෙ අකීකරු ශබ්ද කෝෂයෙ නොහික්මුණු වචන වලින් ලියල තියෙන්නෙ අපි ගැනමයි කියල හිතෙනවා ටැටූ ටික කියවද්දි....නිල් පාට සමනළයා විතරක් නොවෙයි මහ පොළොවෙ පයගහලා ජීවත් වෙන අපිට ඉන්දිකගෙ ටැටූ ටිකත් එළවගන්න බෑ දැන්.. ඒව ඒ තරම්ම යථාර්ථයට ළඟා වෙච්ච කවි.. විදග්ධ සාහිත්‍යයෙ සම්භාව්‍ය කවියන් අතික්‍රමණය කරන්න ඉන්දිකට හැකි වෙලා නැහැ.. ඒත් සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට ඇවිත් ඔහු වෙඩි තියන්නෙ ඉලක්කයට .... ඒකයි ඒ කවි ටික මේ තරම් තදට හිතේ කෙටුණෙ.

"
සැකය "

නිදහස් කරා මං,
සිරවී,
තෙරපී,
උන්,
ඇගේ සුදු තිසරුන්,
ලිහ මුදවා,
ඈ දමා තිබු බැම්මෙන්
හිතුවට වඩා මං
හරිම හීලැයි,
උන්,
හිලෑ වෙන්න මෙතරම්
හුරතල් කර ඇති හැඩය,
වෙන උන්.


ඒ කවි වල තියෙන්නෙ ඇත්තටම අපේ හැටි.. සුදු හුණු ගාගෙන බැබලෙන්න දඟලන පුහුදුන් හෝමෝ සේපියන් සේපියන්ලාගෙ නිරුවත් සිත්වලට ඉන්දික හෙමිහිට ටැටූ වලින් තට්ටු කරද්දි සුදු කළු කවලම් අළු අපි වට පිට බලන්නෙ ඉන්දික මම ගැනද මේ ලියලා තියෙන්නෙ වගේ හැඟීමකින් .... උපහාසයෙන් අපහාස කරනවා වුණාට හැම කවියක් අග්ගිස්සෙම තියෙන්නෙ පෙණ නැගෙන හිනාවක් ... පණ තියෙන අකුරු පේළි ටික කියවද්දි , ඒ හේදිලා යන්නෙ සායම!! ලෝකෙට පේන්න අපි ගාගෙන හිටපු සායම..!!!! මතු වෙන්නෙ නිරුවත් වානරයගෙ නිරුවත් හිත .....!! පුලුවන්නම් ඔහුගේ කවි ගොන්න කියවන්න. එක සැරයක් , දෙපාරක් නෙමෙයි තුන් පාරක්ම කියවන්න හිතෙයි එක හුස්මටම.. ප්‍රේමයේ පල නෙලාගෙන ඇපල් කන පණුවො ගැනත් විරහ දුකින් මිදි ඇඹුලයි කියන නරි ගැනත් , ලිංගිකත්වය , බැඳීම් , සමාජ සම්මතය සහ අසම්මතය මූල බීජ කරගෙන ඉන්දිකගෙ නොදැමුණු හිතුවක්කාර හිත සමාජ විවරණයක යෙදිලා තියෙනවා.
ඉන්දිකගෙ සිතුවිලි වල පොපියන මානුෂික බවට පෙම් නොකරන්නෝ කවරහුද?

Praveena Senadheera,
praveenavisual@yahoo.com
****05/09/2013 ****

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි