Tuesday, February 11, 2014

එහෙත්, මා නැගීසිටින්නෙමි

Painting by Miki de Goodaboom

ඉතිහාසයේ තැනෙක
ඔබ මාව බිම හෙළා ලියනු මැන
ඔබේ ඔය තිත්ත, බොරු ගෙතිල්ලෙන්
ඒ කසල කුණු වලින්
මාව පාගා බිමට දමනු මැන
ඒ නමුදු , දුලි වැලි වලාවක් විලසින්ම
මම නැගී සිටින්නෙමි

වියරු කළෙහි ද ඔබව
මගේ මේ ජීවමය ප‍්‍රබෝධය ?
කිමද ඔබ දොම්නසින් පීඩිතව ?
මන්ද යත්
මගේ ගෙයි සාලයේ
මහා තෙල් ළිඳං ඇති වා ලෙසින්
මා ඇවිද යන බැවින්

හිරු මෙන්ම සඳු මෙන්ම
උදම් රළ පෙළක් මෙන් ස්ථිරව
පැතුම් ඉහළට නැගී එන සේම
මම නැගී සිටින්නෙමි

ඔබට ඇවැසිද ඉතින් දකින්නට
මා කඩා වැටෙනා යුරු ?
නවාගත් හිසින් සහ බිමට කරගත් නෙතින් ?
උණු කඳුළු බිංඳු මෙන්
කඩා වැටෙනා අයුරු මා උරිස්
ආත්මීයව නැගෙන හැඞීමෙන්
දුබල වූවකු ලෙසින්.

මගේ අභිමානයන්
කුපිත කෙරුවාද ඔබ මට කියන් ?
නොසිතන්න, එය ඒ තරම් තදින්
මන්ද යත්
මගේ මේ ගෙවත්තේ
රත්තරන් පතල් ඇති වා ලෙසින්
මා සිනාසෙන බැවින්

ඔබේ පද වැල් වලින්
වෙඩිතබා මරනු මැන මා ඉතින්
මා කපා දමනු මැන
ඔබේ ඔය ඇස් වලින්
මා මරා දමනු මැන,
ඔබේ ඔය වෛරයෙන්
ඒ නමුදු සුළග මෙන්
මා නැගී සිටින්නෙමි

සරාගී බව මගේ
වික්ශිප්ත කෙරුවේද හිත ඔබේ ?
මගේ මේ දෙකළවා අතර මැද
දියමන්ති ඇති ලෙසින්
රඟනවිට මා තුටින්
මවිතයට පත්වීද ඔබව ඉන් ?

ඉතිහාසයේ නින්දා කුටියෙන් පිටතට
මම නැගී සිටින්නෙමි
වේදනා මුල් ඇදුණු අතීතෙන් ඉහළට
මම නැගී සිටින්නෙමි
කලූ වන් සමුදුරකි මම,
විහිදෙමින් පැන නගින,
සියළු දුක් වේදනා
රැල්ලෙන් දරා සිටිනග
ත‍්‍රසයෙන් භීතියෙන් පිරුණු
රාතී‍්‍රන් අමතක කොට
මම නැගී සිටින්නෙමි
මවිත කරවන සුළු
දීප්තිමත් අරුණෝදයකට
මම නැගී සිටින්නෙමි
මුතුන් මිත්තන් මගේ ලබාදුන්
සුබ තිළිණ රැගෙන එන
වහල්බාවයේ පැතුම,
සිහිනයද මම ම වෙමි

මම නැගී සිටින්නෙමි
මම නැගී සිටින්නෙමි
මම නැගී සිටින්නෙමි

By Maya Angelou

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි