Wednesday, February 12, 2014

මියැදෙන්න එක මොහොතකට පෙර




මියැදෙන්න
එක මොහොතකට පෙර
පවසන්න දෙයක් විය පපුතුර

දෙතිස් වසකට පෙර දින
ඔබ එවූ අවසාන ලියමන
තවම ඇති බව රැකගෙන
නොබලාම නොකඩා තබාගෙන

පෙම් කල නිසාවෙන්
අහස මෙන් ඉම් කොණක් නොපෙනෙන
එහි ඇතැයි සිතූ දේ
මවා ගත්තා හිතේ මම
මට ඇවැසි සේ නිතරම

විටෙක තරුවක් විය එය
ඔබෙ දෙනෙත් මෙන බැබළුන
සඳක් විය විටෙකදි එය
දැවෙන හදවත සනසන

වසන්තය විය ඒ තුළ
ඔබේ පේ‍්‍රමය තැවරුණ
සොඳුරු දිනවල මතකය
තැනින් තැන සිත්තම් උන

ඉදින් ඒ පොඩි ලිපියෙහි
කුමක් තිබුණ ද කම් නැත
මියෙන්නට ඔබෙ පේ‍්‍රමෙන්
දහක් සිතුවිලි මට ඇත....


2014.02.12

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි