Thursday, February 6, 2014

කවියාගේ මරණය







පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව


ඇසින් දුටු සාක්ෂි සටහන

සාක්ෂි කරු අංක 01

ඝන අන්ධකාරෙ මැද්දෙං මතු වෙලා ආපු කවියා එක පාරටම කවි තොගයක් කියා ගෙන කියා ගෙන ගියා. ඊට පස්සෙ එක පාරටම කවි ඉවර වුණා. හැම දෙයක්ම එක පාරටම සිද්ධ වුණ නිසා කවි ඉවර වුණාද කවියා ඉවර වුණාද කියලා කාටවත්ම හිතා ගන්න බැරි වුණා.

සාක්කිකරු අංක 02

මම මෙන්න මෙතන වාඩි වෙලා බලා ගෙන ඉන්න කොට උං කවියාව අල්ල ගෙන ආවා. උං හිතා ගෙන හිටිය එතන කවියා ඉන්නෙ තනියම නෙමෙයි තව බොහෝ දෙනෙක් එක්ක කියලා. ඒත් කවියා හිටියෙ තනියම. තට්ට තනියම. ටික වෙලාවකිං අර බිල්ඩිමේ හතර වෙනි තට්ටුවෙං මොකද්දෝ මංදා පොදියක් බිමට වැටෙනවා වගේ පෙනුනා. කිසිම විලාප සද්දයක් ඇහුනෙ නෑ. ලෝකෙටම කෑ ගහලා කවි කියපු කවියාගෙං අවසාන මොහොතෙදි කිසිම මැසිවිල්ලක් නැගුනෙ නෑ. එක අතකට එහෙම වෙච්ච එක හොඳයි. මේක තනිවෙච්ච කවියෙකුට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි

අංක 03, 04 සාක්කිකරුවන්

අපි තුන් දෙනා ඉස්සෙල්ලම බිව්වෙ රම් බෝතලයක්. රම් බෝතලේ ඉවර වේගෙන එනකොටම කවියාගේ කටින් මහා දාර්ශනික අදහස් ගොන්නක්ම එලියට එන්න ගත්තා. අපි හිටියෙ ඒ අදහස් වලින් මනමෝහනය වෙලා. කවියාට තවත් බොන්න ඕනෙ කිව්වා. දාර්ශනික අදහස් වලින් තෘප්තිමත් වෙන්න තියෙන ආසාව නිසා අපිත් ඒක අනුමත කළා. දෙවෙනි රම් බෝතලේ ඉවර වෙන කොට අපිට නං තවත් බොන්න ඕනෙ කමක් තිබුණෙ නෑ. ඒත් තවදුරටත් කවියාට බොන්න ඕනෙ නිසා අපි ඔහුව නැවැත්තුවෙ නෑ. අපි ඔහුගෙ අදහස් වලින් කුල්මත් වෙලා හිටියෙ. තුන්වෙනි බෝතලේ ඉවර වෙන කොට කවියා පොඩි එකෙක් වගේ අඬන්න පටං ගත්තා. ඊට පස්සෙ ජින් විස්කි විතරක් නෙමෙයි හැලි අරක්කුත් බොන්න පටං ගත්තා. අන්තිමටම කවියා විකාරයෙං වගේ මොන මොනවදෝ මුමුනන්න පටං ගත්තා. අපිට ඒවා තේරුමක් නොතිබුණ නිසා අපි එතනින් නැගිටලා ආවා. සුමානෙකට විතර පස්සෙ තමයි ආරංචි වුනේ අපි එදා හිටපු බාර් එකේ විස්කි වීදුරුවක ඉඳලා මැරිච්ච පණුවෙක් හම්බු වුනා කියලා

පරිවේෂණීය සාක්ෂි

සාක්ෂිකරු අංක 5

ඇත්තටම කියනවා නං එයා කවදාවත් කවියෙක් වෙලා හිටියෙ නෑ. මොන මොනවදෝ පල් හෑලි වගයක් මුමුණ මුමුණා හිටියා මිසක් එයා කවදාවත් කවි ලිව්වෙ නෑ. කවියෙක් හිටපු නැති නිසා කවියෙක් මැරුණෙත් නෑ.

අංක 06 සාක්ෂිකාරිය.

ඉහි ඉහි ඉහි. අනේ ඒ අයියා තමයි ඉස්සර ෆේස්බුක් එකේ ලස්සනම ලස්සන කවි ලිව්වේ. ඉහි ඉහි ඉහි. මම ඒ අයියාගේ කවිවල ට මහ පුදුම ආසාවක් තමයි තිබුණේ. ( වමතෙහි ගුලි කරගත් ලේන්සුවෙන් කඳුළු පිසදමයි ) ගහක් ගලක් වගේ හිටපු ඒ වගේ කවියෙකුට මෙහෙම දෙයක් වුණේ කොහොමද කියල මට නං හිතා ගන්නවත් බෑ.

මනෝ වෛද්‍ය වාර්තාව

මරණකරු විසින් ෆ්රොයිඩියානු මනෝවිශ්ලේෂණය අධි මාත්‍රාවක් භාවිත කිරීම නිසා ශරීරයේ සෙසු අවයව අකර්මණ්‍ය වී පරිසරයට අනුවර්තනය වීමට නොහැකි වීම නිසා සිදු වූ මරණයක් ලෙස නිර්වචනය කළ හැක. මරණකරු විසින් කලින් කලට ඇබ්බැහි වී සිටි ලැකානියානු ඩෙරීඩියානු සහ පශ්චාත් නූතන උත්තේජකයන් (drugs) වලින්ද ඇති වූ බලපෑම අතුරු සාධකයක් ලෙස සැලකිය හැක.

රස පරීක්ෂක වාර්තාව

ඝාතනය කිරීමක් බවට වූ සාක්ෂි සපයා ගැනීම ඉතා දුෂ්කර වන අතර මෙය මරණකරුවා විසින්ම සිදු කර ගන්නා ලද ආත්ම ඝාතනයක් ලෙස හඳුනා ගැනීම වඩා පහසුය. තවමත් ඉතා සියුම්ව නාඩි වැටීම් හුස්ම ගැනීම් ආදිය සිදු වන බවට ඇති නිසා කවියා කෝමා තත්ත්වයකිං පසු වෙන බව උපකල්පනය කර කවදා හෝ දවසක මරණයෙන් නැගිටිනු ඇති බවට සීයුම් බලාපොරොත්තුවක් තබා ගැනීමටද හැකියාවක් ඇත.

නම හෙළි කිරීමට අකමැති වූ කවියාගේ පවුලේ සාමාජිකයකු පැවසූයේ කවියා ඝාතනය කිරීම සඳහා තමා කිහිප වරක්ම උත්සාහ කළ බවත් එහෙත් මෙම ආත්ම ඝාතනය සමග කවියාද කවියා තුළ ජීවත් වූ මිනිසාද මිය යමින් සිටින බැවින් එය තමාව අතිශයින් කම්පනයට පත් කළ බවයි.

 - රවීශ තිලකවර්ධන - 

No comments:

Post a Comment

මිදුණු හී සර වැදුණු සිතක සිතුවිලි රළ රැළි