Tuesday, March 11, 2014

වික්ටෝරියා උයනට එරෙහි අවනඩුව



වික්ටෝරියා උයන
උඹ සමග
බොහෝ අවනඩු ඇත මට
තවම.... 

ඇයි තවම
මේ ගල් බංකුව මෙතන
අපි එදා වාඩි වී සිටි තැනම
ගස් පවා 
මල් හලන්නේ මොකද මෙහෙම
එදා හැලූවා වගෙම

වෙනස් වෙනවා නම් හැමදේම
ඇයි තවම
උඹම විතරක් මෙහෙම
මගේ සුන්දර මතක තියාගෙන 
එදා මා දමා ගිය තැනම
කියන් නෑ ආයේ නම්
වෙනස් කරපන් මේක අදම

වික්ටෝරියා උයන
උඹ සමග
බොහෝ අවනඩු ඇත මට
තවම....

සුන්දරම සුන්දර පොත ඔබ...


කියවා අවසන් කරන්නට ලොබ සිතෙන
සුන්දරම සුන්දර පොත ඔබ
දස දහස් පොත් ඇති පොත් ගුලේ
පැය ගණන් ගෙවමින් සිටියදී රාක්ක අතර
අහම්බෙන් මට හමු වූ 
මගේ හිත ගිය පොත ඔබ

වරෙක ඔබ
ආදරෙන් සැනසුවා මගේ හිත
බොහෝ විට 
සිනා සයුරේ ගිල්ලූවා මම 

නොවුනා නොවේ එහි
දුක්මුසු අඳුරු පරිච්ඡේද
ඔව්, කියවමින් හැඬුවා මම විටෙක
ගුලි උනා සයනයෙහි
තුරුල් කරගෙන ඔබ සුරැකිව

ඔව් නැවත බාරදිය යුතුයි මම ඔබ
නොදැණුනා නොවේ මට
දිනය පසු වී ගිය වග

දඩ ගෙවමින් හෝ මෙහෙම
තියන් ඉන්නද පොත මම
තවත් එක දවසක්
මගේ කරගෙන තනියම...

ඒකාධිපතියාගේ උයනෙහි

දිනක් දුටුවෙමි මම
අභිරහස් ලෙස ඝාතනය කළ
පරමාධිපත්‍යයේ මළකුණ
ඉදිමී විරූපිව පාවෙමින්
ඒකාධිපතියාගේ උයනෙහි
මහා කුණු ඇල තුළ

ඔහුටම අයිති අහසෙහි
ගිණි රතු උකුසු ඇස් දල්වන
අහිංසක පොඩි සතුන් පමණක්ම
ගොදුරු කොට වළඳන
නීතිය තඩි උකුස්සෙකි
වෙඩි තබා මරන්නට හිත් දෙන

නිදහස සමරන්න
ඔබ එවූ ජාතියේ කොඩියමම
විසිකලා අසල වූ වැවකට
පිහිනන්න නොදන්නේ නම් කෙසරු
මියෙම්වා ගිලී ජලයෙහි
එයින් කම් නැත මට

දේශානූරාගය කුමට
මගේ යැයි නොහැගෙනා රටකට
නොමරාම
පණ පිටින් වැළලූවා එය මම
වත්ත කෙළවරක වූ
හොල්මන් නුගය යට
කිසි දා නොනැගිටින්නට..

තාත්තේ, කියනවද මට ඇයි ඒ ?


තාත්තේ, 
බලන්නට පුළුවන්ද මගේ දෑස දෙස ?
පවසන්න මට, 
ලස්සනද නැද්ද දැන් මම පෙර මෙන් ?
තාත්තේ, කියනවද මට ඇයි ඒ ? 
ඇයි මට කරදර කළේ ඒ මිනිසුන් ? 

තාත්තේ, 
බැලිය නොහැකිද ම දෙස තවදුරටත් 
නොදැක මේ අවමානයේ කැළැල් ? 
තාත්තේ, කියනවද මට ඇයි ඒ ? 
ඇයි ඔබ මේ සිපිරි ගෙයි ? 

තාත්තේ, 
නොහැකිද ඔබට 
පෙම් කරන්නට මට පෙර මෙන් ? 
කැඞී ගිය කෙළි බඩුවක්ද මම දැන් ? 
තාත්තේ, කියනවද මට ඇයි ඒ ? 
ඇයි එය කඩා බිඳ දැමුවේ ඔබවත් ? 

තාත්තේ, 
නොහැකිද මා වැළඳගන්නට පෙර මෙන් ? 
බියද ඔබ, මා බිය වෙතැයි ආයෙත් ? 
තාත්තේ, කියනවද මට ඇයි ඒ ?
සුව නොවන්නේ මෙය බැන්ඬේජයෙන් ?

තාත්තේ, 
බලනවද අනේ මගෙ දෑස් දෙස ? 
මා පමණක්ම මිස නොදැක ඒ මිනිසුන් ඒ තුළ?
තාත්තේ කියනවද මට ඇයි ඒ ? 
ඇයි ඔබ නැත්තෙ මා ළග ?

තාත්තේ, 
මගෙ වදන් විශ්වාස කරනවද ඔබ ?
අසමත් උනේ නැහැ ඔබ පියෙකු ලෙස. 
තාත්තේ, ඉඩ දෙන්න මට පවසන්න ඇයි ඒ.
මොකද මම ඔබේ දුව නිසාවෙන්. 
තවම අප දෙදෙනාම 
පණපිටින් නිසාවෙන්.

A Poem by - Lilly D.