Sunday, October 13, 2013

"හිතේ කෙටූ ටැටූ"


"හිතේ කෙටූ ටැටූ"
**INSPIRATION**

ඉන්දිකව මම අඳුරගන්නේ කිරිපිටි වෙළඳ දැන්වීමක පූර්ව නිෂ්පාදන කටයුත්තක් අතරතුරදී. ඔහු තමයි ඒ වෙළඳ දැන්වීමේ පිටපත් රචකයා [Script writer] . නමුත් ඒ දැන්වීම් පිටපත නම් කිසිම විශේෂත්වයක් නැති බේසික් [Basic ] එකක්. ඒත් බීර බිබී හිටපු පර්සියානු ජාතික පෙනුමක් ඇති මේ තරුණයාව නම් එක් වරම මගේ සිත් ගත්තා.....

"
හිතේ කෙටූ ටැටූ" කියන්නේ ඉන්දික ගුණවර්ධන කියන මේ ඉලංදාරි කවියා ෆේස් බුක් එකේ මිතුරෝ එක්ක බෙදා ගත්ත හරි අපූරු කවි ගොන්නක්.එක හුස්මට කියවිය හැකි කවි එක සිය පනහකින් සමන්විත වුණත් ඉන්දිකගේ කවි වල සරලකම යටින් දැනෙන ඇඟ හිරි වැටෙන මොකක්දෝ දෙයක් තිබෙනවා.

මේ "හිතේ කෙටූ ටැටූ" වල තිබුන මගේ හිත හිරි වට්ටපු කවියක්.

මුතු පබුළු .....

එදවස,
නොසලන්න,
මේ මුතු පබලුයැයි,
ඔබම තෙපලු කඳුළු,
දැන්,
ගෙදර අහුමුලු පුරා හැම තැනම ,
ඔබ එන්න,
අමාරුයි තනිවම ,
ඇහිඳින්න,
මුතු පබුළු .......


කුමන ගුරුකුලයක කුමන තරා තිරමක කවි රස විඳින්නෙකුගේ හිතේ වුවත් පුංචිම පුංචි හරි රිදුමක් මේ කවිය කියවීමෙන් පසු රැදෙනු නොඅනුමානයි.

ඔහුගේ ස්ටයිල් [style] එක හරියටම දැනෙන්න ලියපු කවියක් තමයි මේ " හිතේ කෙටු ටැටූ " කවිය .

පොත ගන්න ,
ඔයා පහත්වුනු,
තත්පරේට ,
ඔයාගේ,
ටයිට් ඩෙනිම අස්සේ හිටි ,
නිල්පාට සමනළයා ,
ඉගිල්ලිලා ඇවිත්,
මගේ හිතේ වැහුව, .
දැන් ඌව ,
එලවගන්න බෑ මට ,
රෑට .

ඉන්දික ලියු "වන්දනාව" , "සිරුර භාෂාව වූ කල" ආදී ජිවිතයේ අපගේ ක්‍රියා කාරවම් වල පැතිකඩයන් කියා පාන කවි රාශියක් "හිතේ කෙටූ ටැටූ" තුළ අන්තර්ගතයි.

ඉන්දිකගෙ අකීකරු ශබ්ද කෝෂයෙ නොහික්මුණු වචන වලින් ලියල තියෙන්නෙ අපි ගැනමයි කියල හිතෙනවා ටැටූ ටික කියවද්දි....නිල් පාට සමනළයා විතරක් නොවෙයි මහ පොළොවෙ පයගහලා ජීවත් වෙන අපිට ඉන්දිකගෙ ටැටූ ටිකත් එළවගන්න බෑ දැන්.. ඒව ඒ තරම්ම යථාර්ථයට ළඟා වෙච්ච කවි.. විදග්ධ සාහිත්‍යයෙ සම්භාව්‍ය කවියන් අතික්‍රමණය කරන්න ඉන්දිකට හැකි වෙලා නැහැ.. ඒත් සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට ඇවිත් ඔහු වෙඩි තියන්නෙ ඉලක්කයට .... ඒකයි ඒ කවි ටික මේ තරම් තදට හිතේ කෙටුණෙ.

"
සැකය "

නිදහස් කරා මං,
සිරවී,
තෙරපී,
උන්,
ඇගේ සුදු තිසරුන්,
ලිහ මුදවා,
ඈ දමා තිබු බැම්මෙන්
හිතුවට වඩා මං
හරිම හීලැයි,
උන්,
හිලෑ වෙන්න මෙතරම්
හුරතල් කර ඇති හැඩය,
වෙන උන්.


ඒ කවි වල තියෙන්නෙ ඇත්තටම අපේ හැටි.. සුදු හුණු ගාගෙන බැබලෙන්න දඟලන පුහුදුන් හෝමෝ සේපියන් සේපියන්ලාගෙ නිරුවත් සිත්වලට ඉන්දික හෙමිහිට ටැටූ වලින් තට්ටු කරද්දි සුදු කළු කවලම් අළු අපි වට පිට බලන්නෙ ඉන්දික මම ගැනද මේ ලියලා තියෙන්නෙ වගේ හැඟීමකින් .... උපහාසයෙන් අපහාස කරනවා වුණාට හැම කවියක් අග්ගිස්සෙම තියෙන්නෙ පෙණ නැගෙන හිනාවක් ... පණ තියෙන අකුරු පේළි ටික කියවද්දි , ඒ හේදිලා යන්නෙ සායම!! ලෝකෙට පේන්න අපි ගාගෙන හිටපු සායම..!!!! මතු වෙන්නෙ නිරුවත් වානරයගෙ නිරුවත් හිත .....!! පුලුවන්නම් ඔහුගේ කවි ගොන්න කියවන්න. එක සැරයක් , දෙපාරක් නෙමෙයි තුන් පාරක්ම කියවන්න හිතෙයි එක හුස්මටම.. ප්‍රේමයේ පල නෙලාගෙන ඇපල් කන පණුවො ගැනත් විරහ දුකින් මිදි ඇඹුලයි කියන නරි ගැනත් , ලිංගිකත්වය , බැඳීම් , සමාජ සම්මතය සහ අසම්මතය මූල බීජ කරගෙන ඉන්දිකගෙ නොදැමුණු හිතුවක්කාර හිත සමාජ විවරණයක යෙදිලා තියෙනවා.
ඉන්දිකගෙ සිතුවිලි වල පොපියන මානුෂික බවට පෙම් නොකරන්නෝ කවරහුද?

Praveena Senadheera,
praveenavisual@yahoo.com
****05/09/2013 ****

Wednesday, September 4, 2013

නීති වි‍රෝධී සංක්‍රමණිකයාගේ හෘද සාක්ෂි සටහන




කනේ කරාබුව අඹුවගෙ වී සින්න
රනේ රුවට නෑ කිසිවක් දිළිසෙන්න
සෙනේ සිතින් දුක් කරදර ඉවසන්න
අනේ ඇයට දෙවියනි තව දිරි දෙන්න

සාප්පුවෙන් නැහැ කවදත් බඩු ගත්තේ
ජේත්තුවෙන් ඇඳ ගිය ගමනුත් නැත්තේ
සූප්පුවෙන් දෙන්නට කහටත් නැත්තේ
යාප්පුවෙන් දරුවන් නිදි කරගත්තේ

කනේ වැටුණු දා රට පැන යන විත්ති
අනේ ජිනේ කියමින් වැළපුණු ඇත්ති
තනේ මිරිකුවක් කිරි එන්නැති රත්ති
සෙනේ නැතිව නොව මුදලක් කරගත්ති

පාස්කුවේ රට යන බව කිව්වාම
මාට්ටුවේයැයි මට කිව් අය බෝම
බෝට්ටුවේ වත් රට නොගිහින් මේම
සාක්කුවේ හිල් මහගන්නේ කෝම

සැපේ සොයා ගියමුත් සිහිකර ධර්මේ
අපේ දින ගණන් වැරදුනි කළ කර්මේ
ලිපේ බතුත් නෑ බොන වතුරත් සුම්මේ
අපේ කඳුළුමයි මුහුදට ලූණු දැම්මේ

වේගෙන් දියුණුවේ නම් රට හැමදාම
ඒකෙන් බඩ වියත නොරැකෙන්නේ කෝම
ලෝකෙන් උතුම් රට මගෙ රට නම් තාම
සෝකෙන් රට පනින්නේ මොකටද මේම

Sunday, June 9, 2013

දුක සේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද..?



අපි පුංචි කාලේ නිතරම වගේ අහන්න ලැබුණු අපූරු සිංදුවක් තිබුණා. ඒක ගායනා කළේ රෝහණ වීරසිංහ සහ අනූෂා නානායක්කාර. පද රචාන කරල තිබුණේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්.

මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද ඔබ ඔබ බිම හාරන්නේ..

ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි අඹ ඇටයක් සිටුවන්නට හාරමි

දුක සේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක්වත් කන්න ලැබේවිද

මම ළමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමණක් ඉටුකර තබනෙමි

තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට කරන්ට හැකි දේ නොම තේරෙයි මට

පුදුමයි ළමයො ඔබෙ ඔය අදහස හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

මේ ගීතය දැන් අහන්න ලැබෙන්නෙම නැහැ. ඒ හින්දා මෑත පරම්පරාවේ අය මේ ගීතය අහල තියනවද කියල මම දන්නෙත් නෑ. නමුත් මේ ගීතය මට අහම්බෙන් වගේ මතක්උනා. පද ටික තාම මතකයේ තිබුණා. ඒ ටික හිතින් කියවගෙන යනකොට මට තේරුණා මේ ගීතය කොයි තරම් සර්වකාලීන ගීතයක් ද කියලා. අනිත් කාරණේ තමයි, එදාටත් වඩා අද දවසේ අපේ සමාජයට වැඩිපුරම ගැළපෙන ගීතයක් මේක. ඒ මෙන්න මේ කාරණේ හින්දා. අද දවසේ හැමෝම අහන එකම ප‍්‍රශ්ණය තමයි මේ..

දුක සේ සිටුවා අඹ ඇටයක් අද, එක අඹයක්වත් කන්න ලැබේවිද..?

අද දවසේ අපි ජීවත්වෙන්නේ පරිභෝජනවාදය පමණක්ම මුල්කරගෙන. ඒ නිසා, කවුරුවත් කැමති නැහැ තමන්ට වාසියක් නොලැබෙන වැඩකට අත ගහන්න. හැමෝම වැඩකට බහිනව නම් බහින්නේ, ඒකෙන් තමන්ට අත්වෙන වාසිය ගැන පළමුවෙන්ම හිතලා. ඒ වෙනුවෙන් කොයිතරම් කැපකිරීමක් කරන්න වෙනවද කියයල කාරණේ හොයල බලල විතරයි. ඒ නිසා, ‘දුක සේ අඹ ඇට සිටුවනඅය අද දවසේ හරිම අඩුයි. පරාර්ථය ගැන නොහිතන මේ වගේ ආත්මාර්ථය උදෙසාම පමණක වැඩකරන මිනිස් සමාජයක ඒ තත්ත්වය අනිවර්යයි.

නමුත්, ප‍්‍රශ්ණෙ තියෙන්නෙ එතන නෙමෙයි. අඩු තරමින්, අතීතයේ යම් කිසි කාර්යභාරයක් කරන විට, ඒ පිළිබඳව සවිඥාණිකව, ඒ ගැන සොයාබලන, විමසන පිරිසක් හෝ ඒ කාර්යය හා බද්දධව පිටුපසින් සිටියා. බොහෝදුරට, යම් කිසි සංවාදයකින්, පැහැදිලි කිරීමකින්, මත ගැටුමකින් පසු හෝ ඒ කාර්යයේ අගය වටහාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්නට එකතුවූ පිරිස් හිටියා. මේ වගේ ගීත බිහිවෙන්නේ අන්න ඒ සන්ධර්භය ඇතුළේ. නමුත් අද දවසේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අනාගතය වෙනුවෙන් තමන්ගේ වර්තමානය කැප කරල වැඩ කරන පිරිස, අති මහත් බහුතර ජනතාවකට පේන්නේ හරියට ජෝක් එකක් වගේ. අඩු තරමින් මේ අය කරන්නේ මොනවද, ඒකෙන් සිදුවෙන්න පුළුවන් දේවල් මොනවද, කියලවත් අහන්න බලන්න තරම් වත් අපේ ජනතාව සුදානම් නැහැ. ඒ මොකද, මේක ගැන හොයන්න ගියොත්, තමන්ටත් අඹ ඇට සිටවන්න සිද්ධවෙයි, කියන බයට. ඒ හින්දා මේ අය කරන්නේ, පෙර පරම්පරාවේ කවුරු හෝ පැළකල, හොඳට ලොකුවට හැදිච්ච අඹ ගහක් උඩට වෙලා, ඉදිච්ච අඹ ගෙඩියක් කන ගමන් දැන් අඹ ඇට හිටවන පිරිසට හූ කියන එක තමයි. හූ කියල විතරක් නතරවෙන්නෙ නැහැ. අඹ ඇටවලිනුත් ගහනවා.

අද දවසේ අපි ජීවත්වෙන මේ වටපිටාව මෙසේ නිර්මාණය වීමම පවා අතීත කි‍්‍රයාවලියක ප‍්‍රථිපලයක් කියන එක හැමෝම ලේසියෙන් අමතක කරල දානවා. හැමෝ ජීවත්වෙන්නේ හරියට මේ සියල්ල  ඕපපාතිකව තමන්ට පහල උනා වගේ හැගීමකින්. අතීතයේ මේ වෙනුවෙන් සටන් කළ, ලේ හැළු, තම ජීවිතය සහ ශ‍්‍රමය කැපකළ පිරිසකගේ ජීවිත මතින් අද දවස අපට හිමි වී තිබෙන ජීවිතය, අපි හැමෝම ලේසියෙන්ම අමතක කරනවා. මොකද, එතකොට තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන්න ලේසියි. ඉතින් මේ අති බහුතර ජන සමාජය එක හඩින් කියන දෙයක් තමයි, ‘මේ වෙලාවේ අඹ ඇට හිටවන්නයන්න එපා, ඒක කිසි තේරුමක් නැති වැඩක් කියලා. ඒ සඳහා නොයෙක් සාධාරණ හේතුත් ඒ අයම හදල දෙනවා. මේ කාලේ පෑවිල්ල සැරයි. අඹ ඇට හිටවල වැඩක් නෑ, එතකොට හැමදාම වතුර දාන්නත් වෙයි. අනික, හැමතැනම නිදැල්ලේ අතැරල දාපු හරක්. හරක්ගෙන් පැළ බේරගන්න එකත් ලේසී නෑ. ? දවල් නැතුව මුර කරන්න වෙයි. එහෙම නැත්නම්, ඉඩමෙ අයිතිකාරයා අඹ ඇට හිටවනවට කැමති නෑ, ගුටි කන්න වෙයි වගේ කතා. ඇත්තම අර්ථයෙන් කියනවනම්, මේ හැමෝම කියන්න දගලන්නේ, මේ මොහොතේ පවතින යථාර්ථය එක්ක හැප්පෙන්න එපා, ඒක හරි කටුක ඒ වගේම මාරාන්තික කි‍්‍රියාවලියක්, ඒ නිසා අපි වගේ පැත්තකට වෙලා තමන්ගෙ වැඩක් බලාගෙන තියනවනම් අනුන්ගෙ අඹයක් කාලා හරි නැත්නම් උඩබලාගෙන හරි ඉන්න කියලා. කාලය හැමදෙයක්ම විසඳල බන්දේසියක් උඩ තියාපු හොඳ අඹ ගෙඩියක් හෙට දවසේ අපට ලැබෙයි කියලා.

ඒත් මිනිසුන් නිකංම බලාගෙන ඉදීමෙන් පමණක් සිදුවෙන විපර්යාසය කුමක්ද? කාලය විසින් අපට ලබා දී තිබෙන විසඳුම් මොනවාද ? අපේ පෙර පරපුර, කලා කරුවන්, බුද්ධිමතුන්, සිවිල් සමාජයේ මහා චරිත, දේශපාලකයින්, පමණක් නොව සමස්ත ජනතාවම තමන්ගේ වැඩක් බලාගෙන කාලයට අවශ්‍ය දේ කරන්නට ඉඩ සැලසීමෙන් අද දවසේ අපට ඉතුරු වී තිබෙන්නේ කිනම් වට පිටාවක් ද?

පෙර උන් අය සිටවූ අඹ ගස්වල ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

සෑම පුද්ගලයෙකුටම තම ජීවිත කාලය තුළ සිදුකළ හැකි සහ සිදුකළ යුතු සමාජමය මැදිහත් වීමක් සහ යුතුකම් කොටසක් තියනවා. එය පසෙක දමා තමන්ගෙ සිහිනය තුළට වී ජීවත්ව සිටීමෙන් හෝ, අනුන්ගේ ගසකින් අඹ කඩාගෙන කන්නට බලා සිටීමෙන් සිදුවන්නේ, අපට පමණක් නොව, අපෙන් පසුව එන පරපුරටත්, අදටත් වඩා බියජනක, කාලකණ්නි සමාජ වටපිටාවක් උරුම වීම පමණයි. අද දවසේ පවතින ප‍්‍රශ්ණ දෙස වඩා පුළුල් අර්ථයකින් බලා ඒ වෙනුවෙන් අද දවසේ මැදිහත් විය යුත්තේ, එහි ප‍්‍රතිඵලය ඡුන්ද ප‍්‍රතිථලය මෙන් ඊට පසු දින වන විටම ලැබේයැයි සිතාගෙන නෙමෙයි. තල වැපුරුවොත් තල හා වී වැපුරුවොත් වී ලැබෙන්නා මෙන්ම, කිසිවක් නොකර නිකං සිටීමෙන් ලැබෙන්නේ හුළං පමණයි.

ලෝකේ කිසිදු වෙනස්කමක්, කිසිදු කි‍්‍රයාවලියක්, කිසිදු විප්ලවයක්, එක ඇසිල්ලකින්, දවසකින්, මාසයකින් සිදු උනේ නැහැ. උදාහරණයක් විදියට, රයටිස් සහෝදරයන් ගුවන් යානය හදන්නට පෙර, ඒ වෙනුවෙන් සිහින මැවූ, වෙහෙසුනු, විවිධ අත්හදාබැලීම් සිදුකළ, තමන්ගේ කාලය සහ ජීවිතය පවා කැප කළ බොහෝ අතීත කි‍්‍රයාවලියක් ඒ පිටුපස තියනවා. ඒක එහෙම නොවුනානම්, රයිට්ස් සහෝදරයන් ගුවන් යානය හදන්නේ නැහැ. ඒ පිළිබඳ අදහසක් එන්නේ නැහැ. ඒක අතීත කි‍්‍රයාවලියක් සහ අතීත ශ‍්‍රමයක අවසන් ප‍්‍රතිඵලයක්. එය එසේ නොඋනානම්, අහසින් යන එක අද දවසෙත් අපට හීනයක්. අද දවසේ අපි භුක්ති විඳිනා සෑම අංශු මාත‍්‍රයකම විශාල අතීත ශ‍්‍රමයක් සහ කැපකිරීම් සමුදායක් නිදන්ගතවෙලා තියනවා කියන එකට අද දවෙස් අපි පරිහරණය කරන ඇල්පෙනෙත්තේ සිට සියළු දේ හොඳම උදාහරණ. ඒ කාලෙත් රයිට්ස් සහෝදරයන්ට හිනාවෙච්ච මිනිස්සු ඉන්න ඇති. ඊට කලින් ඒ වෙනුවෙන් සිහින මැවූ මිනිස්සුන්ටත් තවත් අය හිනාවෙන්න ඇති. ඒත් එහෙම උනා කියලා, එක පාරක් දෙපාරක් වැඬේ ෆේල් උනා කියලා, වැඩේ අතැරලා දාන එක නෙමෙයි අපේ යුතුකම.

ඕනෑම ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට කැපකිරීම් සිදුකළ යුතුමයි. කැප කිරීමෙන්, මැදිහත් වීමෙන්, දායකවීමෙන් තොරව කවුරුන් හෝ වැඬේ කරදෙන තුරු බලා සිට සව්දිය පිරීමේ අලස සහ කපටි න්‍යායෙන් ඉවත් වී පොළවට බහින්න දැන් කාලය ඇවිල්ලා. මේ නිශ්චිත මොහොතේ ඔබ සමාජමය මැදිහත් වීමකින් කරනු ලබන ඉතාම කුඩා අංශුවේ සිට සෑම දෙයක්ම, අපේ අද දවසේ විතරක් නෙමෙයි, අපෙන් මතු පරපුරේත් අනාගතය පවා තීරණයවා. ඉතින් තම තමන්ගෙ තැන්වල ආතල් එකේ ඉඳගෙන, මෙන්න මේ අති දුෂ්කර මොහොතේ, පොළවට බැහැල මතු පරපුර වෙනුවෙන් අඹ ඇට සිටවන හැමෝගෙන්ම, අති බහුතරයක් අහන මෙන්න මේ දැවැන්ත ප‍්‍රශ්ණෙට..

දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද..?’  කියන ප‍්‍රශ්ණෙට….

මට දෙන්න තියෙන්නෙත් මෙන්න මේ උත්තරේම තමයි.

මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකර තබනෙමි

2010 දෙසැම්බර්

Friday, June 7, 2013

පියාපතක් වන් වූ... ජීවිතේ...






සිතුවිල්ලක් සේ
සිතෙන සැණින්
දසත සැරූ නිදහසේ
පියාපතක් වන් වූ... ජීවිතේ...

කාලයෙ සුළගේ
ඔහෙ පාවී පාවී
ජීවිතයේ නිම් හිම් සෙව්වා මතකයි
ඒ ජීවිතේ දැන් දුරයි
ඔබෙ පේ‍්‍රමයෙන් ආතුරයි
පියාපතක් වන් වූ...ජීවිතේ...

ඔබෙ ආදරයේ
මුතු වැස්සෙන් නැහැවී
ජීවිතයේ උණුසුම සෙව්වා මතකයි
ඒ ජීවිතේ දැන් බරයි
ඔබෙ පේ‍්‍රමයෙන් තෙත්බරයි
පියාපතක් වන වූ...ජීවිතේ...