Monday, August 4, 2014

නෑවිදින් ඉන්න ඔබ



නෑවිදින් ඉන්න ඔබ
හදවතේ ගැඹුරුම තැනට
පේ‍්‍රමය රැගෙන එක මිටට...
 

පේ‍්‍රමයෙන් ශාන්ත ව
සිහිල් රැළි නංවමින්
නිහඩව විටෙක
ඔබෙ හිත නිවන
ඔව් එතැන
හදවතේ ගැඹුරු තැන...
 

පේ‍්‍රමයෙන් ආතුරව
මහා රැළි නංවමින්
වියරුව විටෙක
ඔබෙ හිත කඩන
ඔව් එතැන
හදවතේ ගැඹුරු තැන...
 

විඳින්නට නොහැකි නම්
දුක සතුට එක ලෙසට
නෑවිදින් ඉන්න ඔබ
හදවතේ ගැඹුරුම තැනට
පේ‍්‍රමය රැගෙන එක මිටට

Thursday, July 24, 2014

මං ආස කොළඹට..


හරියටම හිස කෙළින් ඉහළට
ඉර මුදුන් වෙනකොට
දාඩියක් දානවා
මුළු පිට ම තෙත් කොට
කමිසය අලවමින් පිටට
මං ආස ඒකට.....

හුළඟක් දෙකක් එනකොට
ගිනි ම ගිනි රස්නෙට
දූවිල්ල නගිනවා
ළා දුඹුරු පාටට
සේලයක් සේ අහසට
මං අාස ඒකට.....

වාහන පෙළට ඇති විට
එකම තැන එක පොදියට
දුම් බටය නටනවා
කළු දුමක් පිටකොට
රූ රටා මව මවා තාලෙට
මං ආස ඒකට......

ඇත්තමයි
මං ආස නෑ ඉතින් ගමට
මං ආස කොළඹට..... 

Thursday, July 17, 2014

අපේ පෙර පිනකට අනේ අපි නම් මිනිසුන්

 
 
 
බේරුවල අලුත්ගම මුහුදේ
සරනවා ඇති
අන්තවාදී බොදු මසුන්
අල්ලගෙන මුසල්මානූ මසුන්
පහර දෙන්නට ඇති උන්

පෙරළා පහරදෙන්නැති...
 
අපේ පෙර පිනකට
අනේ අපි නම් මිනිසුන්
 
උතුර නැගෙනහිර
අහස ඉල්ලා හඬ දුන්
සියක් දහසක් සියොතුන්
මරා වනසා ලන්නැති
දකුණු අහසින් ගියඋන්
අහස අල්ලාගෙන
ජයපැනුත් බොන්නැති
උදම් ගී හෙම ගයමින්
 
අපේ පෙර පිනකට
අනේ අපි නම් මිනිසුන්
 
අගනුවර වීදිවල
ජීවිතය සිඟමින්
අයිතියට හඬමින්
සටන් පාඨ ද කියමින්
ඇවිද ගිය පොඩි බල්ලන්
වෙඩි තියා මරන්නැති
රෙජීමයේ දඩ බල්ලන්
නීතියෙන් පිට පනිමින්
බලු රජුන් අණ රකිමින්
 
අපේ පෙර පිනකට
අනේ අපි නම් මිනිසුන්
 
ඒ නිසා වෙන්න ඇති කියන්නේ
අපේ පෙර මොකක්දෝ පිනකට
සතුන් නොව අපි හැදුනු මිනිසුන්අනේ උන් ඉතින් තිරිසන් සතුන්
අපේ පෙර මොකක්දෝ පිනකට
සතුන් නොව අපි හැදුණු මිනිසුන්

Monday, April 28, 2014

රාති‍්‍රය තමයි මගෙ දහවල


ඔබ සමග එහෙ මෙහේ ඇවිදින
ඇති තරම් පෙම් වදන් තෙපලන
ඔබේ සුසුමට සුසුම් අමුණන
රාති‍්‍රය තමයි මගෙ දහවල

සම්මතේ විදුලි එළි නොදිලෙන
අසම්මතයේ පුවරු නොපෙනෙන
නපුරු ඇස් අප දිහා නොබලන
රාති‍්‍රය තමයි මගෙ දහවල

ජීවිතේ යළිත් නම් කිසි දින
හමුනොවෙන පේ‍්‍රමයක් අරගෙන
ඔබ ඇවිත් මගෙ සිහින සරසන 
රාති‍්‍රය තමයි මගෙ දහවල

2014.04.28

Tuesday, March 11, 2014

වික්ටෝරියා උයනට එරෙහි අවනඩුව



වික්ටෝරියා උයන
උඹ සමග
බොහෝ අවනඩු ඇත මට
තවම.... 

ඇයි තවම
මේ ගල් බංකුව මෙතන
අපි එදා වාඩි වී සිටි තැනම
ගස් පවා 
මල් හලන්නේ මොකද මෙහෙම
එදා හැලූවා වගෙම

වෙනස් වෙනවා නම් හැමදේම
ඇයි තවම
උඹම විතරක් මෙහෙම
මගේ සුන්දර මතක තියාගෙන 
එදා මා දමා ගිය තැනම
කියන් නෑ ආයේ නම්
වෙනස් කරපන් මේක අදම

වික්ටෝරියා උයන
උඹ සමග
බොහෝ අවනඩු ඇත මට
තවම....

සුන්දරම සුන්දර පොත ඔබ...


කියවා අවසන් කරන්නට ලොබ සිතෙන
සුන්දරම සුන්දර පොත ඔබ
දස දහස් පොත් ඇති පොත් ගුලේ
පැය ගණන් ගෙවමින් සිටියදී රාක්ක අතර
අහම්බෙන් මට හමු වූ 
මගේ හිත ගිය පොත ඔබ

වරෙක ඔබ
ආදරෙන් සැනසුවා මගේ හිත
බොහෝ විට 
සිනා සයුරේ ගිල්ලූවා මම 

නොවුනා නොවේ එහි
දුක්මුසු අඳුරු පරිච්ඡේද
ඔව්, කියවමින් හැඬුවා මම විටෙක
ගුලි උනා සයනයෙහි
තුරුල් කරගෙන ඔබ සුරැකිව

ඔව් නැවත බාරදිය යුතුයි මම ඔබ
නොදැණුනා නොවේ මට
දිනය පසු වී ගිය වග

දඩ ගෙවමින් හෝ මෙහෙම
තියන් ඉන්නද පොත මම
තවත් එක දවසක්
මගේ කරගෙන තනියම...

ඒකාධිපතියාගේ උයනෙහි

දිනක් දුටුවෙමි මම
අභිරහස් ලෙස ඝාතනය කළ
පරමාධිපත්‍යයේ මළකුණ
ඉදිමී විරූපිව පාවෙමින්
ඒකාධිපතියාගේ උයනෙහි
මහා කුණු ඇල තුළ

ඔහුටම අයිති අහසෙහි
ගිණි රතු උකුසු ඇස් දල්වන
අහිංසක පොඩි සතුන් පමණක්ම
ගොදුරු කොට වළඳන
නීතිය තඩි උකුස්සෙකි
වෙඩි තබා මරන්නට හිත් දෙන

නිදහස සමරන්න
ඔබ එවූ ජාතියේ කොඩියමම
විසිකලා අසල වූ වැවකට
පිහිනන්න නොදන්නේ නම් කෙසරු
මියෙම්වා ගිලී ජලයෙහි
එයින් කම් නැත මට

දේශානූරාගය කුමට
මගේ යැයි නොහැගෙනා රටකට
නොමරාම
පණ පිටින් වැළලූවා එය මම
වත්ත කෙළවරක වූ
හොල්මන් නුගය යට
කිසි දා නොනැගිටින්නට..

තාත්තේ, කියනවද මට ඇයි ඒ ?


තාත්තේ, 
බලන්නට පුළුවන්ද මගේ දෑස දෙස ?
පවසන්න මට, 
ලස්සනද නැද්ද දැන් මම පෙර මෙන් ?
තාත්තේ, කියනවද මට ඇයි ඒ ? 
ඇයි මට කරදර කළේ ඒ මිනිසුන් ? 

තාත්තේ, 
බැලිය නොහැකිද ම දෙස තවදුරටත් 
නොදැක මේ අවමානයේ කැළැල් ? 
තාත්තේ, කියනවද මට ඇයි ඒ ? 
ඇයි ඔබ මේ සිපිරි ගෙයි ? 

තාත්තේ, 
නොහැකිද ඔබට 
පෙම් කරන්නට මට පෙර මෙන් ? 
කැඞී ගිය කෙළි බඩුවක්ද මම දැන් ? 
තාත්තේ, කියනවද මට ඇයි ඒ ? 
ඇයි එය කඩා බිඳ දැමුවේ ඔබවත් ? 

තාත්තේ, 
නොහැකිද මා වැළඳගන්නට පෙර මෙන් ? 
බියද ඔබ, මා බිය වෙතැයි ආයෙත් ? 
තාත්තේ, කියනවද මට ඇයි ඒ ?
සුව නොවන්නේ මෙය බැන්ඬේජයෙන් ?

තාත්තේ, 
බලනවද අනේ මගෙ දෑස් දෙස ? 
මා පමණක්ම මිස නොදැක ඒ මිනිසුන් ඒ තුළ?
තාත්තේ කියනවද මට ඇයි ඒ ? 
ඇයි ඔබ නැත්තෙ මා ළග ?

තාත්තේ, 
මගෙ වදන් විශ්වාස කරනවද ඔබ ?
අසමත් උනේ නැහැ ඔබ පියෙකු ලෙස. 
තාත්තේ, ඉඩ දෙන්න මට පවසන්න ඇයි ඒ.
මොකද මම ඔබේ දුව නිසාවෙන්. 
තවම අප දෙදෙනාම 
පණපිටින් නිසාවෙන්.

A Poem by - Lilly D.

Saturday, February 22, 2014

පේ‍්‍රමයේ කල්වාරීයේ.


පේ‍්‍රමයේ 
කල්වාරීයේ...
මියැදෙමින් යළි උපදිමින්
ඔබේ ආදර කුරුසියේ.....
පේ‍්‍රමයේ කල්වාරීයේ....

මතකයේ
කස පහර වැදි වැදී 
හදවතේ
ලේ ගලයි නොනැවතී 
දරාගන්නට බැරිම මොහොතක
මියැදෙමි... යළි උපදිමි

ආදරේ
කටු ඔටුනු හිස දරා
ස්නේහයේ
දිය පොදක් දෙනතුරා
බලා ඉන්නට බැරිම මොහොතක
මියැදෙමි...යළි උපදිමි...

2014.02.12

Friday, February 21, 2014

පේ‍්‍රම පුරාණය...

 By Leonid Afremov


අපේ අවසන් හමුවෙන් 
විසි වසකට පසුව වුව....
පසෙක් කලෙහිය ඔබ මට
මහා දිව ඔසුවකැයි කියනා
මහා කාලයට වුව 
කිසිවක්ම කල නොහැකි බව

දිවියෙහි වසත් කල 
යළිත් නම් නොම ඒ යැයි 
විඩාවෙන් හිටි දවසක 
අහම්බෙන් ඔබ දුටු විට
හදවත ගැහෙන රිද්මය 
පෙර මෙන් වෙනස් වී යැයි 
කෙසේ නම් පවසම්ද ඔබ හට... 

හැකිනම් සොයා යන්නට
යොවුන් විය අප මග දමා ගිය 
දුවමි මම එක හුස්මට
යළිත් ඒ හැගුමෙන් වෙළෙන්නට 

නමුත් ඔබ දැන් වෙනතක
අපෙ ගමන් මග දෙමගක 
හැගුම තවරා මලකට
එ මල සිඹ යමි නික්ම යන්නට...