Saturday, February 22, 2014

පේ‍්‍රමයේ කල්වාරීයේ.


පේ‍්‍රමයේ 
කල්වාරීයේ...
මියැදෙමින් යළි උපදිමින්
ඔබේ ආදර කුරුසියේ.....
පේ‍්‍රමයේ කල්වාරීයේ....

මතකයේ
කස පහර වැදි වැදී 
හදවතේ
ලේ ගලයි නොනැවතී 
දරාගන්නට බැරිම මොහොතක
මියැදෙමි... යළි උපදිමි

ආදරේ
කටු ඔටුනු හිස දරා
ස්නේහයේ
දිය පොදක් දෙනතුරා
බලා ඉන්නට බැරිම මොහොතක
මියැදෙමි...යළි උපදිමි...

2014.02.12

Friday, February 21, 2014

පේ‍්‍රම පුරාණය...

 By Leonid Afremov


අපේ අවසන් හමුවෙන් 
විසි වසකට පසුව වුව....
පසෙක් කලෙහිය ඔබ මට
මහා දිව ඔසුවකැයි කියනා
මහා කාලයට වුව 
කිසිවක්ම කල නොහැකි බව

දිවියෙහි වසත් කල 
යළිත් නම් නොම ඒ යැයි 
විඩාවෙන් හිටි දවසක 
අහම්බෙන් ඔබ දුටු විට
හදවත ගැහෙන රිද්මය 
පෙර මෙන් වෙනස් වී යැයි 
කෙසේ නම් පවසම්ද ඔබ හට... 

හැකිනම් සොයා යන්නට
යොවුන් විය අප මග දමා ගිය 
දුවමි මම එක හුස්මට
යළිත් ඒ හැගුමෙන් වෙළෙන්නට 

නමුත් ඔබ දැන් වෙනතක
අපෙ ගමන් මග දෙමගක 
හැගුම තවරා මලකට
එ මල සිඹ යමි නික්ම යන්නට...

ඔබ නික්ම ගිය පසුව....


ඔබ නික්ම ගිය පසුව
රැල්ල ගල් පර බදා හැඩූ හැටි
වැල්ල ගිණියම්ව පා පෙළූ හැටි
සිප්පි කඩු තුඩු වගේ මැවුණු හැටි
මම ඔබට පැවසුවෙමි....

ඔබ නික්ම ගිය පසුව
බසින හිරු කෝපයෙන් දැවුණු හැටි
සුලග වියරුව දසත සැරූ හැටි
රැ අහස තරු කඩා දැමූ හැටි
මම ඔබට පැවසුවෙමි....

ඔබ නික්ම ගිය පසුව
මහද මියැදී හැගුම් මැරුණු හැටි
මසිත ගොළු වී පැතුම් බිඳුනු හැටි
හුස්ම ගත් නමුත් මා මියෙන හැටි
මම ඔබට නොකීවෙමි........

Tuesday, February 18, 2014

රොබර්ටෝ



චිලී හී මරියා
අල්ලාගෙන හිඳී තම දෑතීන්
රොබර්ටෝ ...
ඇගේ දෑතෙහි රැඳුනු
පින්තූරයකි දැන් ඔහු

අපේ සුමිතුරාගේ
සිනා කෙළි කවටකම්
ඉතින් නම්
අහවරය..

විමසුවෙමි මම
රොබර්ටෝ ගැන
සොයාගෙන ගොස්
බලධාරී තැන
දැක නැතැයි පවසමින්
කිසි කෙනෙක් එනමින්
උරිස් සැලූවෝය උන්..

අතුරුදන් වී දැයි ඔහු
විමසීය උන්..

ජීවිතය සහ මරණය අතර
තිබෙන්නේ
පින්තූර පමණක්මය...

By E. Ethelbert Miller

‘අය්යන්දේ’ ජීවත් ව සිටි කල....




ජනේලය අතරින්
මගේ රට දෙස බලන විට
නොපෙනේය මට
එලියෙහි, ජනේලෙන් පිට
මම

ජනෙල් වීදුරුව මත බැඳුණු
මගේ හුස්මෙහි
සලකුණු අඳිමි මම
සීතල ගලා එයි
මා ඇගිලි තුඩු මතට

අය්යන්දේ ජීවත් ව සිටි කල
හැකියාව තිබුණි මට
විවර කර හරින්නට
ජනේලය
සන්තියාගෝ හී
මගේ නිවහනේ සිට
නරඹන්න මගේ මේ චිලී රට

මා සිහින සඟවන්නට
නොවී කිසි තිර රෙදි
පැතුම් පිරි කාලයක්
වීය එය..

ප‍්‍රජාතන්ත‍්‍රවාදය
මා දෙතොල් මත වැදී තෙරපුන
පෙම්වන්තියක් විය
පේ‍්‍රමයෙන් බදා සිප සැනසුන''




By E. Ethelbert Miller

Wednesday, February 12, 2014

මියැදෙන්න එක මොහොතකට පෙර




මියැදෙන්න
එක මොහොතකට පෙර
පවසන්න දෙයක් විය පපුතුර

දෙතිස් වසකට පෙර දින
ඔබ එවූ අවසාන ලියමන
තවම ඇති බව රැකගෙන
නොබලාම නොකඩා තබාගෙන

පෙම් කල නිසාවෙන්
අහස මෙන් ඉම් කොණක් නොපෙනෙන
එහි ඇතැයි සිතූ දේ
මවා ගත්තා හිතේ මම
මට ඇවැසි සේ නිතරම

විටෙක තරුවක් විය එය
ඔබෙ දෙනෙත් මෙන බැබළුන
සඳක් විය විටෙකදි එය
දැවෙන හදවත සනසන

වසන්තය විය ඒ තුළ
ඔබේ පේ‍්‍රමය තැවරුණ
සොඳුරු දිනවල මතකය
තැනින් තැන සිත්තම් උන

ඉදින් ඒ පොඩි ලිපියෙහි
කුමක් තිබුණ ද කම් නැත
මියෙන්නට ඔබෙ පේ‍්‍රමෙන්
දහක් සිතුවිලි මට ඇත....


2014.02.12

අගෝස්තු ගීතය...



සොඳුරිය,
මේ අගෝස්තුවේ දී..
සිදුවිය හැකිව තිබුණු මුත් බොහෝ දේ
සිදු නොවනු ඇත

ඔබේ ඔය දෙනෙතෙහි
කදෝකිමි බොහොමයක්
දිස්න දෙන්නට හැකිව තිබුණු මුත්
දිස්නය නොදෙනු ඇත

එහෙයින්ම
මේ සොඳුරු අගෝස්තුව
මිහිදන් ව යනු ඇත
විභූතියකින් හෝ
කිසිම කිසි හේතුවක් නොමැතිවම
මලින් හෝ මල් පෙරහැරින් තොරව

කිසි දිනක ගසක් වනු නොහැකි වූ
බොහෝ දිනයන් මෙන්ම

කිසි දිනක සියොත් බාවය නොලද
බොහෝ ගස් වැල් මෙන්ම

කිසි දිනක පියාඹනු නොහැකි වූ
බොහෝ සියොතුන් මෙන්ම...

- Oscar Hahn -

සදාකාලික පෙමක් අවැසි නම්




අ‍පේ පෙම තිබෙන්නේ
සුනිල රළ බි‍දෙන තැන
අප දෙපා දොවන තැන
සුමුදු සුසිනිදු වෙරළ
අප දෙපා සිඹින තැන...

ජීවිතය තිබෙන්නේ
සිඳු ගැඹර වැඩිම තැන
කුණාටුව මැවෙන තැන
මිනීමරු මත්ස්‍යයින්
නොතේරෙන විස්මයන්
මතුවෙන අඳුරු තැන
පතුළ නොපෙනෙන එතැන

සදාකාලික පෙමක් අවැසි නම්
පෙම් කරමු අපි එතැන...

2014.02.12

Tuesday, February 11, 2014

එහෙත්, මා නැගීසිටින්නෙමි

Painting by Miki de Goodaboom

ඉතිහාසයේ තැනෙක
ඔබ මාව බිම හෙළා ලියනු මැන
ඔබේ ඔය තිත්ත, බොරු ගෙතිල්ලෙන්
ඒ කසල කුණු වලින්
මාව පාගා බිමට දමනු මැන
ඒ නමුදු , දුලි වැලි වලාවක් විලසින්ම
මම නැගී සිටින්නෙමි

වියරු කළෙහි ද ඔබව
මගේ මේ ජීවමය ප‍්‍රබෝධය ?
කිමද ඔබ දොම්නසින් පීඩිතව ?
මන්ද යත්
මගේ ගෙයි සාලයේ
මහා තෙල් ළිඳං ඇති වා ලෙසින්
මා ඇවිද යන බැවින්

හිරු මෙන්ම සඳු මෙන්ම
උදම් රළ පෙළක් මෙන් ස්ථිරව
පැතුම් ඉහළට නැගී එන සේම
මම නැගී සිටින්නෙමි

ඔබට ඇවැසිද ඉතින් දකින්නට
මා කඩා වැටෙනා යුරු ?
නවාගත් හිසින් සහ බිමට කරගත් නෙතින් ?
උණු කඳුළු බිංඳු මෙන්
කඩා වැටෙනා අයුරු මා උරිස්
ආත්මීයව නැගෙන හැඞීමෙන්
දුබල වූවකු ලෙසින්.

මගේ අභිමානයන්
කුපිත කෙරුවාද ඔබ මට කියන් ?
නොසිතන්න, එය ඒ තරම් තදින්
මන්ද යත්
මගේ මේ ගෙවත්තේ
රත්තරන් පතල් ඇති වා ලෙසින්
මා සිනාසෙන බැවින්

ඔබේ පද වැල් වලින්
වෙඩිතබා මරනු මැන මා ඉතින්
මා කපා දමනු මැන
ඔබේ ඔය ඇස් වලින්
මා මරා දමනු මැන,
ඔබේ ඔය වෛරයෙන්
ඒ නමුදු සුළග මෙන්
මා නැගී සිටින්නෙමි

සරාගී බව මගේ
වික්ශිප්ත කෙරුවේද හිත ඔබේ ?
මගේ මේ දෙකළවා අතර මැද
දියමන්ති ඇති ලෙසින්
රඟනවිට මා තුටින්
මවිතයට පත්වීද ඔබව ඉන් ?

ඉතිහාසයේ නින්දා කුටියෙන් පිටතට
මම නැගී සිටින්නෙමි
වේදනා මුල් ඇදුණු අතීතෙන් ඉහළට
මම නැගී සිටින්නෙමි
කලූ වන් සමුදුරකි මම,
විහිදෙමින් පැන නගින,
සියළු දුක් වේදනා
රැල්ලෙන් දරා සිටිනග
ත‍්‍රසයෙන් භීතියෙන් පිරුණු
රාතී‍්‍රන් අමතක කොට
මම නැගී සිටින්නෙමි
මවිත කරවන සුළු
දීප්තිමත් අරුණෝදයකට
මම නැගී සිටින්නෙමි
මුතුන් මිත්තන් මගේ ලබාදුන්
සුබ තිළිණ රැගෙන එන
වහල්බාවයේ පැතුම,
සිහිනයද මම ම වෙමි

මම නැගී සිටින්නෙමි
මම නැගී සිටින්නෙමි
මම නැගී සිටින්නෙමි

By Maya Angelou

තැපෑලේ ආ ශෝකය

By Thomas Liddall Armitag

පෙර කළෙක
රිදී සීනු හඩක් වැනි විය
ඔහුගේ සීනු නාදය 
සැබෑ විස්මයෙන් පිරි 
තැපැල් මල්ලක් වීය ඔහු අත
නව යොවුන් පේ‍්‍රමයද
මව් සෙනේ ගීතය ද 
විටෙක දුක ශෝකය ද 
රැගෙන ආවේ ඔහුය 
නිවසකින් නිවසට... 

පැද ගියත් බෝ දුරක් අපමණ
කඳු හෙල් ද තැනිතලා කොපමණ 
වෙහෙස නොදැනුනි ඔහුට කිසි දින 
ඔහු රුව දකිනු රිසින
සිනාබර මුහුණු විය තැන තැන
වතගොත ද විමසන 
තේ කෝප්පයක් බොමුදැයි අසන...

කිසිවෙකුත් දැන් ඔහුව නොබලති
කිසිවෙකුට සීනු හඩ නොඇසෙති
බිල් ද ණය පත් ද පමණක් ඇති 
ඒ මල්ලෙ විස්මයක් දැන් නැති .....

නිවසකින් නිවසකට 
විස්සෝපයක් ම මිස
විස්මයක් පී‍්‍රතියක් නොගෙනෙන 
ඒ මල්ල කුඩා වුව 
බර වැඩිය දැන් ඔහුට ...

Thursday, February 6, 2014

නමුදු තනි නැත මම


 
By Vickie Wade


රාත‍්‍රිය,
පාළු නිස්සාරය
කඳු පෙළේ සිට මුහුද තෙක්.
නමුදු තනි නැත මම,
ඔබව නළවන මම

මේ අහස,
පාළු නිස්සාරය
සයුරට සඳ වැටුණු සඳ
නමුදු තනි නැත මම,
ඔබව අල්ලාගත් මම

ලෝකයම,
පාළු නිස්සාරය
ඔබ දකින ආමිසය දුක්ඛිතය
නමුදු තනි නැත මම,
ඔබ වැළඳගත් මම



- Gabriela Mistral